Friday, November 10, 2017

රෝස් පාන් ඉරිදාව

ගිය ඉරිදා උදේ පත්තර කඩේට  ගොස් පයින්ම ගෙදර එදදී  සාක්කුවේ තිබු මොබයිලය සද්ද වුයෙන් මම ඊට ඇහුම්කන් දුන්නෙමි.


“ඔවිනි කියනවා අද උදේ රෝස් පාන් කමුලු. ලොකු දෝනිත් කැමතියි. එනකොට රෝස් පාන් ටිකක්  අරන් එන්න” .  ඒ අපේ පවුල් සංස්ථාවේ සබාපතිතුමියගේ ආදරබර  අණ කිරීමය .


මම බ්ලූබෙල්  බේකරියෙන්  ලොකු රෝස්පාන් එකක් හා පොඩි   රෝස්පාන් එකක්ද අරගෙන ගෙදර එද්දී සාලයේ සිටි  ඔවිනි  “ ඔය රෝස්පාන් දෙක අපි හතර දෙනාටම ඇති  වෙයිද තාත්තේ” කියා ඇසුවාය .
එවරනම් මටත් පොඩි සැකයක් ඇති වුනත් “නෑ අපි බෙදාගෙන කමුකෝ “කීවෙමි


උදේ කෑම මේසයට යනවිට එහි සිටියේ මාද ඇතුළුව  තුන් දෙනෙක් පමණකි .
“ කෝ ඔවිනි? .
“ඔය මොනවා හරි කරනවා ඇති කොච්චර කතා කලත් එන් නෑ”
මමද හඬ නගා ඔවිනි ඇමතුවත්”මං එන්නම් ඕගොල්ලෝ කන්න පටන් ගන්ඩෝ’  කියා ඇය දුර සිටම හඬ ගෑවා පමණකි .


ඉතාම රසට හදා තිබූ පරිප්පු තෙම්පරාදු හොද්දත් සමග කරුස් කුරුස් ගා සද්ද කරමින් ක්‍රිස්පිමය ගුණෙන් පමණක් යුක්ත වූ රෝස්පාන් කාගෙන යද්දී අපට ඔවිනිව සහමුලින්ම අමතක විය .


අන්තිමේදී වට්ටියේ කෙළවරක කුඩා රෝස් පාන් පාළුවක් විතරක්ම ඉතිරිව තිබියදී  මගේ මෙන්ම අනිත් දෙදෙනාගේත්  මුහුණුවලින්  දිස්වූයේ සංතෘප්ත නොවූ රෝස්පාන් ලෝලිත්වයක්මය. ඒ  නිසා  මම මෙසේ කිව්වෙමි .


‘ඔය රෝස්පාන් ටිකත් කමු. මම කාල ඉවර වෙලා  ටුක් ගාලා දුවලා ගිහින් බේකරියෙන් රෝස්පාන් එකක් ගේන්නම් ඔවිනිට”.


පරිප්පු තෙම්පරාදුවේ මිරිස් සැර නිසා සූස් සුස් ගාමින් වතුර ඩිංගක්ත් බොන්න වෙලා නොගෙන  මම හනික බේකරියට දිව ගියේ  කට වටේ තැවරී තිබු පාන් කුඩු පිහදා ගන්නා ලෙස බිරිඳගෙන් කෙරුණු  දැඩි අවවාදයද නොතකම්නි.


මා පාරේ සෑහෙන දුරක් ගියාටත් පසු  ගේට්ටුවෙන් එලියට බෙල්ල  දික්කළ  ළමයින්ගේ අම්මා මෙසේ හඬ ගෑවාය


' පොඩි රෝස්පාන් එකක් ගෙනාවම ඇති ඔවිනි විතරයි කන්න ඉන්නේ ඒ ඒ  "


ඒ මොහොතේ ස්කීම් එකේ සිටි සියලු දෙනා අපේ ගෙදර  උදේට කන්නේ රෝස්පාන් බවත් ගෙදර කට්ටියට කඩේ යන්නේ මා බවත්  තහවුරු කර  ගත්තෝය.


මම හැල්මේ බේකරිය දෙසට ඇවිද ගියේ උදේ  අට නමය වෙද්දීම වාගේ බේකරියේ පළමු බැච් එකෙන්  බාන රෝස්පාන් , පාන් බනිස් සියල්ල අවසන් වෙන බව දන සිටි නිසාය. මෙහෙම ඇවිදගෙන යද්දී පොඩි කාලේ කඩේ යද්දී මෙන් පීප් පීප් කියමින් අබිනයෙන් සුක්කානමක් කරකවමින්  බේකරිය දෙසට දිව යන්නට  පවා සිතුනත් මේ තලත්තෑනි  වයසේ ඔය නොගැලපෙන දේවල් නොකර සිටිනා එක හොඳ බව මම මටම අවවාද කර ගත්තෙමි.


හති හළමින්  මා බේකරිය වෙත ලඟා වන විට  එහි සිටියේ එකකම එක කස්ටමර් කෙනෙක් පමණි. ඔහුත් තාත්තා පෙණුමැති මැදිවියේ නිරෝගී පුද්ගලයෙකි . ඔහු තෘප්තිමත් මුහුණින්  පාන් බනිස් පිරවූ මල්ලක්  අතේ එල්ලාගෙන කැෂියර්ට මුදල් පියවමින්  සිටියේය.


මගේ වාසනාව!  රෝස්පාන් දමන වීදුරු කුඩුවේ එකම එක රෝස්පාන් ගෙඩියක් ඉතිරිව  ඇත. චූන් පාන් මල්ලිලාද නොගැවසෙන මේ කලාපයේ රෝස් පාන් ගෙඩියක් ගන්නවානම් තිබෙන එකෝමෙක බේකරිය මේකය. එහිද එකෝමෙක රෝස් පාන් ගෙඩියක්ඉතිරිව තිබීම වාසනාවන්ත අහඹු සිද්දියකි . නොඑසේනම් අද අපේ දියණියගේ මුහුණ කරවූ රෝස් පාන් ගෙඩියක් මෙන් ඇකිලී යනු ඇත. මුළු ගෙදරම වසා දැමු බේකරියක් මෙන් මළානික වනු ඇත.


ඒ  එකම රෝස්පාන් ගෙඩිය දෙසම ගිජු නෙත් දල්වා නොඉවසිල්ලෙන් සිටියේ මා ඉදිරියේ ඉතිරි සල්ලි ගනිමින් ආපසු යන්නට හැරී සිටිනා මහත්මා ඉදිරියේ මාද ජෙන්ටල් විදිහට සිටිය යුතු නිසාය.


සතියේ මහත් අභාග්‍ය සම්පන්න සිද්දිය වුනේ මෙන්න මේ අවස්ථාවේය.


ආපසු යන්ට හැරුණු අර මහතා අනපේක්ෂිත අයුරින් ඉතිරි  සල්ලි අතරින් රුපියල් විස්සේ කොලයක්  බේරාගෙන ‘ අන්න  අර රෝස්පාන් ගෙඩියත් මට දෙන්නැයි  කීවේය.


අයියෝ ඒ මිනිසා  අපේ ඉරිදා දවස කාලා දැම්මේය.


මහත්සේ ඩිසැපොයින්ට් වූ මුහුණින් ගෙදර ආ මම අපේ ගෙදර අහුමුළු සියල්ල පිරී යන හඬින් මෙසේ කිව්වෙමි.

"මේ රටේ ඉඳලා වැඩක් නෑ ළමයිනේ උඹලාවත් ඉගෙනගෙන මේකෙන් එලියට පලයල්ලා. හැමතැනම මහා කුහක මිනිස්සු ඉන්නේ "

( මෙය සරල උපහාසාත්මක රචනයක් බවත් විශේෂයෙන්ම අවසන් වැකිය විනෝදය සඳහා ලියූවක් බවත් කරුණාවෙන් සලකන්න )

Sunday, October 29, 2017

වදාකඩ ගින්නේරි කන්දේ මිහිරි සුවඳැති මල් පිපේවා !  පොල්ගහවෙල ඉස්ටේෂම දෙවන කොටස

වදාකඩ ගින්නේරි කන්ද
පොල්ගහවෙල ඉස්ටේෂමේ  කතාවේ දෙවන කොටස ලියන්න  මාසයක් විතර ගියා. ඒත්  මේ දවස් තිහ ඇතුලේ බොහෝ දේවල් සිද්ද වුනා. මාස කීපයක්  තිස්සේ වුනත් කතා කරන්න තරමේ අත්දැකීම් ගොඩක් ලැබුනා  .
මම සතුටෙන් සමරන කෝච්චියේදී සිදුවූ ඉතා අහඹු  හමු වීමක් තියෙනවා  . පොල්ගහවෙලින් නැගලා හවස කෝච්චියේ අසුනක් සොයාගෙන යද්දී රැවුල්කාර  තරුණයෙක්  සිටි අසුන අසලින් මටත් ඉඩක් හම්බුනා. මෙන්න පොඩ්ඩකින් මේ මනුස්සයා මගේ දිහා බලල සතුටු සිනා පාන්න පටන් ගත්තා . එතකොටයි මටත් යාළුවව අඳුන ගන්න පුළුවන් උනේ . ඒ මගේ මිත්‍රයා අවුරුදු ගානකට පස්සේ ඒ විදිහට හමු වුනත් ඒ හමුව ආයෙමත් මාව   විද්‍යා ලේඛනය පැත්තට තල්ලු කරන්න උනන්දු කළා. ඒක  වෙනම සටහන් කළයුතු කතාවක් .
ඔහු තමයි පින්නවල අලින්ගේ නවාතැනේ බාරකාරයා.  සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක් වෙන නවෝද් .
අක්කර විසි ගානක ඉඩක අලි අසූවකට වැඩිය ගාල් කරගෙන නඩත්තු කරන එක හිතන තරම් ලේසි පාසු කටයුත්තක් නෙවෙයි .

ඔහුට  තිබෙන ලොකුම  ගැටලුව තමයි ටොන් ගණනින් නිතිපතා  එකතුවෙන අලිබෙටි කළමනාකරණය කර ගන්නේ කොහොමද කියන එක  . කිසිම පොහොරමය ගුණයක් නැති අලිබෙටිවලින් ගන්නට පුළුවන් ප්‍රයෝජනයක් හොයා  බලන්න ඔහු මේ දවස්වල  වෙහෙසෙන බව මා එක්ක කීවා . ඒ කියද්දී මට මතක් වුනේ පේරාදෙනි ඉංජිනේරු පීඨයේ රසායන ඉංජිනේරු අංශයේ  ආචාර්ය අනුර මනිපුර .  එයත් ඔය ජාතියේ වැඩ ගැන ගොඩක් උනන්දු පුද්ගලයෙක්. ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ගැන සෑහෙන  දැනුමැත්තෙක් . ගිය මාසයේ මම කරපු එක සාර්ථක කටයුත්තෙක් තමයි මේ පර්යේෂකයන් දෙන්නා මුණ ගැස්සවීම . ඒත් ලංකාවේ මොනතරම් විෂය ක්ෂේත්‍රයේ දැනුමැත්තෝ හිටියත් ප්‍රශ්නවලට උත්තර දෙන්න බලය තියෙන්නේ ගොඩ පෙරකදොරුවන්ට නිසා මේවා ගැන  වැඩි බලාපොරොත්තු තියා ගන්න එක නුවණට හුරු නෑ .

ඒ මුණ ගැසීමෙන් පස්සේ මට පේරාදෙනි රසායන ඉංජිනේරු විද්‍යා සිසුන්ගේ පර්යේෂණ සමුළුවක් ආ සුහද හමුවක් අමතන්න  ඇරයුමක් ලැබුනා . බොහොම සොඳුරු  දවසක් ඒක  .ඊටත් පස්සේ ලංකා විද්‍යාභිවර්ධන සංගමෙය  විදුසර විද්‍යා සඟරාවත් එක්ක හවුලේ සංවිධානය කළ විද්‍යා සන්නිවේදකයන් සඳහා වූ වැඩමුළුවක දෙසුමක් කරන්නත් සිද්ද වුනා. මට අදාළ වෙලා තිබ්බේ විද්‍යා ලේඛන වැනි ප්‍රබන්ධ නොවන ලියමන්  රසවත්ව ඉදිරිපත් කරන්නේ කොහොමද කියලා. එදා දවසේ විස්තරේ බ්ලොග් පෝස්ට්  එහෙකින්ම ලියන්න වෙනවා .

මීට අවුරුදු 27කට කලින් මම විදුසර පත්තරේට ලියපු කවරයේ කතාවක් නැගලා ගියා. එවකට මම සරසවි සිසුවෙක්. ලියමනේ මාතෘකාව ' මල්වර නොවී වියපත් වූ   අපේ කරදාසි කර්මාන්තය" . මේ ලිපිය කියවූ  කෙනෙක් අලිබෙටි   වලින් සුබ පැතුම්පත් හදන්න පුලුවන්ද කියලා මගෙන් අහල තිබ්බ වග මතක් වුනා .අලිබෙටි වේලා,සෝදා සකස් කරගන්නා පල්පය කඩදාසි හදන්න ගන්නා බවත් ඒවායින් හදන විසිතුරු කඩදාසි හා සුබපැතුම්පත්වලට විදේශිකයන්ගෙන් හොඳ ඉල්ලුමක් තිබෙන බවත් මාත්  අසා තිබුනා

ඉතින් ඒ ප්‍රශ්නෙම මම නවොද්ගෙන් ඇහුවා . මගේ මිත්‍රයා කිව්වේ ඒක අලි බොරුවක් වෙන්නත් පුළුවන් බවයි.
"මමත් මුලින් උත්සහ කරා මේ එකතුවෙන අලිබෙටි ටික ඒ වගේ දෙයක් කරන ආයෝජකයෙකුට දෙන්න. ඒත් ඔය සුබ පැතුම් පත් හදන ගොඩක්  දෙනෙක් අලිබෙටි සුලු පරිමාණයෙන් මුසු කරගෙන  තමයි ඔය කරදාසි හදන්නේ . කොහොමත් තනිකර අලිබෙටි වලින් ඔය වැඩේ කරන කිසි කෙනෙක් මට හම්බ වෙලා නෑ ".ඔහු කිව්වා

ඉස්සර ප්‍රබාකරන් විසින් ඇති දැඩි කළාය කියන ඇතින්නක් යුද්දෙන් පස්සේ පින්නවලට ගෙනත්  තියෙනවා. මගේ මිත්‍රයා කිව්වා ළඟදී දවසක ඒ  ඇතින්න කඳවුරෙන් පැනලා යන්න හදපු කතාව . දාලා හිටි තැනින්  දම්වැල කඩාගෙන ඒ මදිවට ඇවිදිනකොට  සද්ද වෙන නිසා දම්වැල කරේ දාගෙන හොරෙන් හොරෙන් කඳවුරේ වැට ගාවටම ඇවිල්ලා  . කවුදෝ  හොඳ වෙලාවට මෙයාව දැක්ක නිසා ආපහු දක්කාගෙන ගිහින් මාංචු දැම්මලු .

මේ කතා අර කතා මැද්දෙන් මම පොල්ගහවෙල යන්න හෙතුභූත  වූ කටයුත්තේ මම බාරගත්ත රාජකාරී කොටස ඉවර කරලා එන්නත් තව දවස් කීපයයි තියෙන්නේ.   අපේ ව්‍යාපෘති කන්තෝරුව තිබ්බේ වදාකඩ  ගින්නේරි කන්ද අසබඩ.  වදාකඩ කියන්නේ නවීනත්වයට පිම්මේ නොගිය සුන්දර  කඩ මන්ඩියක්  අපි දවල්ට  බත් කන්න යන  කඩේ ඉස්සරහ පුංචිම පුංචි පුස්තකාලයක් තියෙනවා . මම නිකමට එතැනට ගොඩ උනා .

මිල්ටන් කුමාරණායක  අනුස්මරණ පුස්තකාලය
වදාකඩ

පුස්තකාලයාධිපතිනිය මද සිනාවකින් මාව  ප්ලිගනිද්දී  ඇගේ සහයිකාවද මේ දැකලා පුරුදු නැති අමුත්තා දෙස සුහද එහෙත් කුකුස මුසු බැල්මෙන් බැලුවා . මම පුංචි පුස්තකාලය සිසාරා ඇවිද බැලුවා.
පුංචි ඉඩකඩක උනත් පොත් රාශියකුත්  කියවන්නන් නිතර යන එන බවකුත් පෙනෙන්න තිබුනා .
මම පුතකාලයාධිපතිනියගෙන් විමසුවේ මෙහි සමාජක සාමාජිකාවන් කී දෙනක් විතර සිටිනවාද කියල .  මේ වගේ ගම්මානෙක පුංචි පොත්ගුලක පොත් කියවන්න එන සජීවී සාමාජිකයන් ගණන දාහට වැඩි  බව ඇහුවම  මට සතුටක් දැනුන  නිසා මම මෙහෙම ඇහුවා .

"අර අහවල් ව්‍යාපෘතියේ වැඩකට මම ඇවිල්ලා ඉන්නේ . මේ පුස්තකාලෙට පොත් ටිකක දෙන්නත් වෙනත් උදව් පදව්වක් ඕනිනම් කරන්නත් අපි කැමතියි" .

පුස්තකාලයේ ඒ වන විට සිටි තුන් හතර දෙනාගේම මුහුණු  ප්‍රබෝධමත් වුනා. හරියට අපි ඉස්කෝලේ කාලේ  පී බී අල්විස් පෙරේරාගේ කවි පන්තියක් කියෙව්වම ආපු ප්‍රබෝධය වගේ ,
මේ වෙලාවේ එතන හිටි බවලතා කියනවා .
 'අනේ කොච්ර උදව්වක්ද මහත්තයා . මේ පුස්තකාලේ තනිකරම හිතවතුන්ගේ උදව් පදව් නිසා ගොඩ නැ ගිච්ච එකක් . තව දියුණු කර ගන්න ඕනි. ළමයි හරි ආශාවෙන් ඇවිත් පොත් කියවනවා"

මම එහෙ මෙහෙ තිබ්බ පොත් පෙරළ  පෙරළා  බැලුවා. වැඩිපුරම අතට දියවෙලා දුර්වර්ණ වෙලා තිබ්බේ මල් මල් නවකතා පොත්. කමක් නෑ  ටී වී එක ළඟ වටවෙලා  හින්දි  ස්වප්න  බලනවට වඩා මේ කියවිල්ල හොඳයි මම හිතුව .
එහෙම කල්පනා කරමින්ම ජනේලෙන් එපිටහ තිබ්බ කොලපාට සමර ගාපු විශාල ගෘහය දිහා බලා හිටිනා  වෙලේ පුස්තකාලේ බාර නෝනා මෙහෙම කියනවා .
"මහත්තයා ඔය ගෙදර තමයි පී බී අල්විස් පෙරේරා හිටියේ.  මේ පුස්තකාලෙට ඉඩම දුන්නේ එතුමාගේ මස්සිනා මිල්ටන් කුමාරනායක "

දෙයි හාමුදුරුවනේ අපි අර පාර කපාගෙන එන ගින්නෙරිය කන්ද ගැන කවි ලියල තියෙන්නේ එහෙනම් ඔය ගෙදර  කවුළුවෙන් බලාගෙන නේද   .



වදාකඩ ගින්නේරි කන්දේ මිහිරි සුවඳැති මල් පිපේවා !

එදා සිට මම පොල්ගහවෙලට කෝච්චියේ ආවේ එතැනින් බැහැලා හනිකට වදාකඩට ඉගිල්ලෙන්න බලාගෙන .  වදාකඩ  පුස්තකාලේ ගිය සතියේ පොඩි පහේ උත්සවයක් තිබ්බා . ඒගැනත් ලියන්නම වෙනවා

තව කොටස් ගොඩක් තියෙනවා


Monday, September 25, 2017

මේ පොල්ගහවෙල දුම්රිය ස්ථානයයි


ඉංග්‍රීසියෙන් Writers  Block කියන්නේ රහට හෝ නොරහට මොනවා හෝ කුරුටු ගාමින් සිටින  කෙනෙකුට ලියන්න දේ ඉතිරිව තිබියදීත් ලිවීම එපා වීමය. මම  මේ වචන දෙකේ  තේරුම සිංහලෙන් ලියන්නට උත්සහ කළෙමි  . එක්තරා ඩික්ෂනරියක්  තෝරාගෙන  පළමුවෙන්ම writer  යන්නට දී ඇති සිංහල වදන තේරීමි. ඒ අතරින් මගේ හිතගත් නිර්වචනය වූයේ  'කංකානම'  යන්නයි . ඒ මා දැනට කරමින් සිටින රස්සාවටද ටිකක් ගැලපෙයි. ඊළඟට block  යන්නට දී ඇති සිංහල වචන අතරින් මනරම්ම එක වූයේ  'අඩය' යි. හරියට හරි ඔය තියෙන්නේ වචනය ; 'කංකානම්ගේ අඩය'  හෙවත් writers  Block. මා මේ වෙර වෑයම් දරන්නේ writers  Block එකෙන් බේරීමටය . කොටින්ම කංකානම්ගේ අඩය  ගළවන්නටය . එහෙන් මෙහෙන් දින සටහන් ටිකක් ලියා වැඩේ පටන් ගත්තෙමි .
මේ පොල්ගහවෙල දුම්රිය ස්ථානයයි
මම ආයෙමත් ආදරය කරන්නට පටන් ගත්තා . ඒ පොල්ගහවෙල රේල්වේ ඉස්ටේමටයි.  කාලෙකට ඉස්සර බණ්ඩාර කේ විජේතුන්ගයන් ලියු මේ පද පේලිය කියවලා තියෙනවද ?

දුම්රිය ඇන්ජිම මම ..
ඔබ ඇයි
රේල් පීලි මත පිපුනේ?

මේක මගේ ජීවිතේට කිසිම සම්බන්දයක් නැති වුනත් ලොකු දොනී වෙනත් කොහේදෝ ඉස්ටේසමකදී ගත්  ඉහත ෆොටෝ එක නිසා මට ඒ කවිය මතක් වුනා . පොල්ගහවෙලදී මට ආයෙමත් පොටෝ එකත් කවියත් දෙකම මතක් වුනා .
ඉස්ටේසමේ උඩුමහල්  කැන්ටිමේ ටී එක මරු . පොල් රොටියනම් ගන්ඩ  දෙයක් නෑ. ඒත්  මම ඉස්ටෙසමට කැමතියි.  පොල්ගහවෙල ඉඳන් මරදානට එක්ස්ප්‍රස් එක පැයයි  විනාඩි දහයට එනවා. ඒත්  මරදානේ ඉඳන් රාජගිරියට ටැක්සියේ යන්න පැය  එක හමාරක් විතර යනවා .

මම පහුගිය දවසක පොල්ගහවෙලින් නැගලා හම්බවෙච්ච සීට් එකේ වාඩිවෙලා පොඩි නින්දක් දාන්න හැදුවා විතරයි මෙන්න මගේ ඉස්සරහ හිටි හාදයා මුළු පෙට්ටියම දෙවනත් වෙන්න මල් කඩනවා .
'කොහෙද සුදූ  ඔයා ඉන්නේ. මම තාම  පොල්ගහවෙල . තව පැය  එක හමාරක් වත් යයි සුදූ . ඔයාට බඩගිනිනම් මොනවා හරි කන්න . හැබැයි සුදු මම නම් ගෙදර යනකම්  වතුර එකක්වත් බොන්නේ නෑ''
.
අනුන්ගේ ඕපාදුප හෙවිල්ල කොච්චර නරක පුරුද්දක් වුනත් අපි  ඒ නොසන්ඩාල වැඩේ කරනවා. අපි සරසවි බෝඩිමේ ඉන්නා කාලේ  පාරේ වැටිලා තිබ්බ බොහොම රසවත් පෙම් හසුනක් ඒ කාලේ අතින් අතට ගියේ තළු  මර මර තව තවත් ලුණු ඇඹුල් එකතු වෙමින් . නන්නාදුනනන අහිංසක පෙම්වතී සිය පෙම්වතාට මෙහෙම ලියල තිබ්බා .

" මම දන්නවා සුදූ  ඔයා නරක වැඩ  කරන බව . සිගරැට්  බොන බව . එක අතකට කොල්ලෙක් වුනාම සිගරටුත් බොන්න ඕනි තමයි . හැබැයි සුදෝ එකයි දෙකයි .
සුදු ඔයා අපේ ගෙදර ලඟින් නිතර එහෙ මෙහෙ යනවා නේද. එහෙම ගියත් ඔයා අපේ ගේ පැත්ත හරි හැරී බලද්දී අයියලාට මොනා හරි දැනුනොත් මට ඉන්න වෙන එකක් නා . ඒ නිසා සුදෝ ආයේ අපේ ගෙදර දිහා බලන්න එපා. හැබැයි සුදෝ මමනම් ජනේලෙන් හරි බලනවා ''

ඉතින් මේ අතීතය පුනරාවර්තනය වෙමින් යනවා අර කෝච්චියේ හම්වුන පෙම්වතා සිය ප්‍රේමවන්තියට දුරකථනය ඔස්සේ පෙම් වදන් තෙපලීම හෙවත් මල් කඩ කඩා විසි කිරීම නිසා.
' ඔන්න සුදෝ  අපි දැන් අඹේපුස්ස පහුකලා . නෑ  එතන මේ එක්ස්ප්‍රස් ට්‍රේන්  එක නවත්තන් නෑ . මම ඔයාට කලිමුත් කියල තියෙනවනේ. ( තරමක් සැර  වැර  ඇතිව ) ඔන්න  සුදෝ ආයෙනම්  මගෙන් අහන්න එපා අඹේපුස්සේ මේ කෝච්චිය නවත්තනවද කියල"
 

ඔන්න ඔහොම ඒ ලවුඩ්ස්පීකර් ප්‍රේමය රස විඳපු දවසට පස්සේ මට ආයේ චාන්ස් එකක් ලැබුනා පරණ පෙම්වතී ( නෑ  නෑ  අලුත් පෙම්වතී ) එක්ක කෝච්චියේ රාගම ඉඳන් පොල්ගහවෙලට යන්න . ඉතින් එක ළඟ වාඩි  වෙලා මේ ජෝඩුව යන්නේ මළ  ගෙදරක.  ඒක  වුනේ මෙහෙමයි. දැන් මාස තුනකට විතර කලින්  සෙනසුරාදා හවසක මම අපේ නෝනට මෙහෙම කිව්වා .
' මට හෙට මළ  ගෙදරක යන්න තියෙනවා . පොතුහැර . කෝච්චියේ යන්නයි ඉන්නේ.  ඒ ගමන් අපේ නෝනා කියනවා
' මටත් මළ  ගේක යන්න තියෙනවා. අපේ ඔෆිස් එකේ හිටි යාලුවෙකුගේ  තාත්තා නැති වෙලා ඒත්  ඔය පැත්තේම තමයි . ඔෆිස් එකෙන් වහනයක්  යනවත් කිව්වා .
'ඒත්  ඉතින් ඉරිදා විතරනේ අපට පොඩ්ඩක් නිදහසේ ඉන්න තියෙන්නේ ළමයි එක්ක වත්තේ පිටියේ ඇවිදලා එහෙම . හොඳයි නැද්ද ?

කලාතුරකින් අපි දෙන්නා එකම මතයකට එළඹුනා .
ඒත්  ඉරිදා උදේ නැගිට්ට ගමන් මට මොකක්ද වගේ. මේ ගමන නොගිහින් හොඳ නෑ . මම කලින් අසනීප වෙලා ඉද්දි බලන්න ගිය වෙලෙත් මේ බ්ලොග් යාලුවා ගැන හරි ලෙන්ගතුකමක් හිතුනා. මම මළ  ගෙදර ගිහින් එන්නම් .
"ඔයා කොහොමද යන්නේ"  නෝනා ඇහුවා
"කෝච්චියේ . රාගමට ගිහින් එතැනින් පොතුහැරට"
.
"අනේ එහෙනම් මාත් එන්නම්. අර මළ  ගෙදරත් ඔය කිට්ටුවමනේ ඇත්තේ. යන ගමන් කාගෙන් හරි ඇඩ්රස් එක අහමු".

හා හොඳයි කියලා දෙන්නත් එක්ක ළමයින්ගේ විරෝධය මැද උන් දෙන්නා ගෙදර දමලා පිටත් වුනා .
ඒ ගමනේදී තමයි අපි දෙන්නට එකට වාඩි  වෙලා යන්න සීට්  එකක් හම්බුනේ. කාලෙකින් නිදහසේ කතා කරන්න බැරි උනානේ, එක වහළ  යට උන්නට .
ඉතිං ..
"ඔයාගේ බ්ලොග් යාලුවා කොහෙද වැඩ කරන්නේ ? "
"එයා දැන් වැඩ නෑ  ආමි එකේ ඉඳලා පැන්ෂන් ගිය කෙනෙක්"
 .
"ඇත්තද අපේ යාලුවාගේ තාත්තත් ආමි එකේ ඉඳලා පැන්ෂන් ගිය කෙනෙක්"
.
ඈ  එතකොට එයාගේ නම මොකක්ද ? 
ගුණරත්නද  මොකක්ද වගේ නමක් .

"ඇත්තද... අපේ  යාලුවාගේ සර්නේම්  එකත් ගුණරත්නනේ "
අපි එහෙට මෙහෙට කෝල් දෙක තුනක් ගත්තා . බැලින්නම් වැඩේ හරි . අපි දෙන්නම යන්නේ එකම මළ  ගෙදර. යන්නේ කොහෙද කියලා අමතක වෙලා අපි දෙන්නටම මාර හිනා .
විචාරක උන්නැහැ තරහ වෙන එකක්  නෑ  අපි එයාගේ මළ  ගෙදර ආවේ  හිනා වෙවී කියල දැන  ගත්තානම් .
අනික කියන්න බැරි උනා අපි ගිය කෝච්චිය පොතුහැර නතර කරන්නේ නෑ  කියපු නිසා අපි එදා බැස්සේ පොල්ගහවෙලින් .
*****
තව කොටසක් තියෙනවා

සේයාරුව දෙව්නිගෙන්

Sunday, June 11, 2017

අක්බාර් කැන්ටිම සිර අඩස්සියක් වූ දවස


Akbar Hall- from AllTravels
මා කලකට පෙර කියවූ එක්තරා විදෙස් කෙටි කතාවක සාරය මට මතක හැටියට මේ විදිහය .
රටවල් දෙකක් අතර කලක් තිස්සේ පැවති  යුද්ධය නිමා වී ගියාට  පසු දේශ සීමාව ආසන්නයේ  අවන්හලකට ගොඩ වූ ලේඛකයෙකුට  අමුතු ගතිගුණ ඇති, මුහුණේ බයංකාර කැපුම් තුවාල කැළැලක්  සහිත වේටරයෙකු දකින්නට ලැබෙයි. දුටු හැටියේම මේ  මිනිසාගේ මුහුණේ ඇති කැළල පිටුපස මහා ලොකු  කතන්දරයක් ඇතැයි  සැක කරන ලේඛකයා  කතාව අසා ගැනීමේ නොතිත් ආසාවෙන්  අවන්හලට දිගටම යන්නට එන්නට පටන් ගනියි.  අර වේටර්වරයා හා ටිකෙන් ටික කුළුපග වෙයි.

ඇත්ත නේන්නම්! අර වේටරයාගේ ජීවිත කතාව අතිශයින් ත්‍රාසජනක වුවකි. අල්ලපු රටේ කැරලි කණ්ඩායම් සමග  එකතු වී සිට පසුව ඉන් ඉවත් වී ජීවිතය බේරා ගන්නට වෙහෙසුණු අන්දම, සටන් බිමේ මරණාසන්න අත්දැකීම් හා  තවත් ත්‍රාසජනක  කතා රාශියක්  ලේඛකයාට අසා සිටින්නට සිදු විය. මේ කතා ඇත්ත වශයෙන්ම  පුදුමාකාර හා අපූරු ඒවා උනත් ලේඛකයා ළඟ දැවෙමින් තිබු ප්‍රශ්නය එය නොවේ .  දවස් ගණනක් අර ලොමු දැහැගන්වන ජීවිත කතාවට ඇහුම්කන් දුන්  ලේඛකයා  බැරිම තැන  ප්‍රශ්නය ඇසුවේය.

' එතකොට ඔහේගේ මේ මුණේ තියෙන භයානක තුවාල  කැළල සම්බන්ධ වෙන්නේ ඔය මොන කතාවටද ?

' අයියෝ මහත්තයා ඒක  මාස කීපයකට කලින් මේ හෝටලේදි වෙච්ච පොඩි අනතුරක්නේ  . ටොනික් මුඩියක් ගලවන්න ගිහිල්ල  වෙච්ච'

ඒ කතාව නිමියේය . මේ කියන්නට යන්නේ 1989 අවුරුද්දේ ජුනි මාසේ දවසක මගේ නිකට පැලී මැහුම් හතරක් දමන්නට හේතු කාරණා වූ  , මුළු  රැයක් තිස්සේ මහනුවර මහ රෝහලේ තපින්නට  සිදු වූ  කතාවද  නොවේ . ඒ සිද්දියට  පසුවදා සිදු වූ කතාවකි. කලින් දවසේ රෑ මා රෝහලට රැගෙන ගොස්  තිබුණේ ගිලන් රථයකිනි .  එක දවසකින් ටිකට් කපාගෙන එන්නට ලැබුනත්  තුවාලය ඇදුම් දෙමින් තිබුණි. නිකට කලාපය වසා තඩි පැලැස්තර තලියක් අලවා තිබුනේය.

පේරාදෙණිය සරසවියේ අක්බාර් -අන්ද්රියාස් නෙල් නේවාසිකාගාර සංකීර්ණය සිව් මහල් ගොඩනැගිලි තුනකින් සමන්විතය . යටත් පිරිසෙයින් සිසුන් අටසීයකටවත් සෙවණ සැපයු මෙය පිහිටියේ අලුත් ගම්පොල පාරේ ඉංජිනේරු පීඨයට යාබදවය .

පේරාදෙණි දුම්රිය හන්දිය පිහිටි පැණිදෙනිය පැත්තට වෙන්නට නිව් වින්ග් හෙවත් නව පියාපත පිහිටියේය . ඊළඟට අන්ද්රියාස්  නෙල් ශාලාවය . ගෙලිඔය අන්තයේ අක්බාර් ශාලාව පිහිටියේය . අක්බාර් ශාලාවත්  නෙල් ශාලාවත් අතර මැද විශාල කැන්ටින් රාජයා විරාජමානව වැජඹුනේය.

ඒ අපේ රාජ්‍යයයි . අපේ පලනාධිකාරයේ පැවතී කළාපයයි . කිසිම අනවසර වැසියෙකුට මෙහි ආ නොහැකිය. ඒ  වෙනකොට  පේරාදෙණියේ සියලු නේවාසිකාගාර අවට හවස් වෙද්දී  මුර බටයන් යොදා තිබිණි. ඒ නිරායුධ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ය. කොල්ලන් අල්ලන් යන්නට එන රහස් ඔත්තු  කරුවන්, ප්‍රා කාරයන් , කළු බළල්ලු  ආදී බහුවිධ හමුදාවලට ශාලාවලට එන්නට බැරි උනේ මේ මුරකපොලු වල සිටි විරු සිසුවන් නිසා යයි අපි සිතා සිටියෙමු.

ඒත් අපේ අනුමානය බොරුවක් කරමින් 1989 ජුනි මාසේ දවසක හවස හතට පමණ අප  රාත්‍රී කෑමට කැන්ටිම දෙසට  ඇදී එද්දී ලැබුනේ මෙවැනි ආරංචියකි .

"හමුදාව හොස්ටල් එක වට කරලා" .

ආරංචිය රැගෙන ආවේ මුර කපොලුවල සිටි ශිෂ්‍ය ක්‍රියාකාරීන්ය

ඒත් වට කලාට මොකෝ හමුදාවෙන් ඇතුලට එන්න  කියලායැ?   අප එහෙම හිතුවත් ටික වෙලාවකින් කොරිඩෝරයේ ගඩොල් බිත්තිය බිඳ හමුදා බටයෝ ශාලාවට ඇතුල් වුහ .

දෙකෙළවර ශාලාවල සිටියෝ ඇඳිවත පිටින්ම ටී පනස් හයේ තුවක්කු රැගත් හමුදා බටයින්ගේ අණට කීකරුව අක්බාර් කැන්ටිම වෙත ඇදී ආහ. කැන්ටිමේ සියලු පුටු බංකු එක පසෙකට ගොඩ ගසා ශාලා මධ්‍යයේ  හිස් අවකාශයක් තනා  තිබුණු අතර අප සියලු දෙනාට බිම වාඩි වෙන්නයි අණ ලැබිණි .

මේ වන විට ගඟෙන් එහා පැත්තේ හිල්ඩා ඔබේසේකර ශාලාවේ සිට ශබ්ද විකාශන යන්ත්‍ර මගින් සරසවි සිසුන්ට ඇඟ හිරි වැටී, සිත පිබිදෙන සුළු සංග්‍රාම වාක්‍ය නිකුත් විය.

' මිනීමරු පාලකයින්ගේ මුර බල්ලන් අපේ සරසවි බිම  වට කරලා . වීරෝධාර සිසු සිසුවියනි . බය වෙන්න එපා . යටත් වෙන්න එපා . පාවා දෙන්න එපා . සමාජවාදී  රජයක්  බිහි වෙන්න ඉතා ආසන්නයි. ඒකයි  මේ පැසිස්ට්වාදී පාලකයන් වියරු වැටිලා තියෙන්නේ . ඊට අමතරව නන්දා මාලිනිගේ  පවනේ ගීතද , කපුගේගේ   'සබඳ  අපි කඳු නොවෙමු ' වැනි ගීතද වරින් වර විකාශය විය.

රෑ මැදියම් වෙද්දී බඩගින්න හා අනෙකුත් අවශ්‍යතා ඇති වුවද කිසිවෙකුට සෙලවෙන්නවත් ඉඩක් නොලැබුණේ අවි රැගත් සෙබලුන් සිය ගණනක් ශාලාව තුලත් මිදුලෙත් රඳවා  සිටි නිසාය .මීට  අමතරව හිස ආවරණය කරගත් බිල්ලෙක්ද ඇවිත් සිටියේය.

පසුවදා පාන්දර වන විට හෙලිකොප්ටරයක් සරසවි ගුවන් තලය සිසාරා පිරුක්සුම් චාරිකාවල යෙදුනේය.  හිල්ඩා ඔබේසේකර ශාලාවේ  ශබ්ද  ව්කාශණ යන්ත්‍රය දිගටම  හඬ තැලුවේය

' යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්...

රාත්‍රිය පුරා කුස ගින්නේ සිටි අප ඒ  වනවිට බෙහෙවින් හෙම්බත් වී සිටියෙමු.

හැබැයි හමුදාව අක්බාර් ශාලාව වට කරද්දීම  වාගේ  පොලිසිය සොයමින් සිටි ප්‍රධාන පෙලේ  පුද්ගලයෙක් හෝ දෙන්නෙක්  කැන්ටිමට එළවලු ගෙනා ඩේලිකා රථයේ සැඟවී පලාගිය බවට කසුකුසුවක්ද  පසුව  අසන්නට  ලැබිණි ( මා මෙහි සත්‍ය අසත්‍ය බාවය ගැන  නොදනිමි )

හමුදා හා පොලිස් වටලෑමෙන් පසු මුලින්ම සිදුවුයේ  සිසුන්ට කෑම බීම නොදී හෙම්බත් කිරීමය. ඒත් මෙය දිගටම කරන්ට බැරි වුනේ කවුරුත් එලියට බහින්නට බය වී සිටි මොහොතක සිසුන් වෙනුවෙන් නැගී ආ  ආචාර්ය මයිකල් ප්‍රනාන්දු  හා අක්බාර් ශාලාධිපති ඇතුළු පිරිසක් නිසාය .

මුලින්ම මයිකල් ප්‍රන්නන්දු මහතා ගෙදරින් උයාගෙන ආ බත් පාර්සල් පණහක් පමණ සිසුන්ට බෙදන්නට හමුදාව සමග දැඩි වාග් ප්‍රහාරයක යෙදී අවසර ගත්තේය.  ඊළඟට කැන්ටිමේ ඉතිරි වී තිබු හාල් හා පරිප්පු උයා තවත් කුඩා  කෑම ප්‍රමාණයක් බෙදා දුන්නේය.

මේ මොන දෙයින් උනත්  හිටි පිරිසෙන් හතරෙන් එකකටවත් කුසට අහරක් නොලැබිණි.

දවල් වෙද්දී  අපේ කාමරවලට  හමුදා සුපරීක්ෂාව යටතේ  ගොස්  අඩුම කුඩුම  ගමන්මලුවල්ට පුරවා ගන්නට අපට ඉඩ  ලැබිණි . ඉන්පසු අයිඩෙන්ටි කාඩ්  ඇති  හා නැති උන් වෙන් කරවා ගැනුණි. ඒ වනවිට ශිෂ්‍ය ක්‍රියාකාරීන්  හඳුනා ගැනීම වලක්වනු වස් අප හැමෝගෙම  අයිඩෙන්ටි කාඩ්  එකතු කොටගෙන තිබුනේය  ඒත් මේ මොහොතේ මට තේරුම්  ගියේ බොහෝ  දෙනා සන්තකයේ කුමක් හෝ හැඳුනුම්පතක් තියෙන බවය.  අඩුම තරමින් යුනිවර්සිටි රෙකෝඩ් බුක් එකවත් මට හොයා ගන්නට බැරි විය . ඒ නිසා මා  ඇතුළු පණහක් හැටක් වූ අයිඩෙන්ටි කාඩ් නැතී පිරිස වෙනම තැනකට රැස් කෙරුණි.

ඒ වනවිට හිල්ඩා ඔබේසේකර ශාලාවේ ලව්ඩ්ස්පීකර් හඬ නිවී ගොස් තිබිණි

හවස හය පමණ වෙද්දී සියලු දෙනා බස් වලට පටවා ගලහ හන්දියට ගෙනාවේ දැඩි පොලිස් හා හමුදා රැකවල් මැද්දේය . ඊළඟට එකිනෙකා  ගම් පළාත් අනුව අනුරාධපුර, කුරුණෑගල, යාපනය, බදුල්ල ආදී  වශයෙන් කුඩා කණ්ඩායම් විදිහට පෙළ ගස්වා නවතා තැබූ බස්වලට වෙන වෙනම පටවනු  ලැබීය .

මා ඇතුළු හැඳුනුම්පත්  නැති වුන් මෙන්ම  වෙනත් ක්‍රමවලින්  තෝරාගත් පිරිස  ගෙන ආවේ කඳවුරකට ගෙන යෑමටය. ( මේ පිරිස මහනුවර පාසැලක රඳවා තබාගත් බව පසුව දන ගන්නට ලැබිණි. ඉන් පිරිසක්   සෑහෙන කාලයක් සිරගතව සිටියෝය. සමහරු  යලි නොආවෝය )
අප ශාලාවේ සිට ගෙන ආ බස් රථයද ගලහා හන්දියේ නතර කර එතැනින් අපව තවත්  බස්රථයකට මාරු කරන්නට පියවර ගෙන තිබිණි.

මා පෙර රථයෙන් බැස සැකකරුවන්  කඳවුරට ගෙනයාමට සුදානම් කොට තිබූ අනෙක් බසයට  නැගීමට ඇවිදගෙන යද්දී හරි අපූරු දෙයක් සිද්ද වුනේය.  ඒ කිට්ටුවෙන්ම  නවතා තිබු කෝස්ටර් බස් රථයෙන් බැස ආ සෙනරත්  මගේ අතින් ඇදගෙන 'මෙහෙ වරෙන් ඔය කොහෙද යන්නේ  බණ්ඩාරවෙල යන්නේ මේ බස් එක මේකට නැගපන්' කියා මා ගෙන ගොස් කෝස්ටරයේ ඉන්දෙව්වේය.

මේ අවස්ථාවේ හාත්හස විසිරී  සිටි පොලිස් හා හමුදා බටයන්  කිසිවෙකුට මේ සිද්දිය නිච්චියක් නොවුනේ කෙසේදැයි  මට තාමත් සිතා  ගන්නට බැරිය . නොඑසේනම් මේ කතාව ලියන්නට වෙන්නේ වෙනත් ආකාරයකටය නැතිනම් වෙනත්  කෙනෙකුටය .

මහා රෑ දොළහට පමණ අප දියතලාවට සේන්දු වුනෙමු.  මට යම්තමින් හෝ සුරක්ෂිත බවක් දැනෙන්න  පටන් ගත්තේ  ඊටත් පස්සෙය.  මම එදා රාත්‍රිය සෙනරත්ලා ගෙදර නිදාගෙන සිට  පහුවදා උදේ රැයින්ම  අපේ ගෙදරට ගියේ කරේ ට්‍රැවලින් බෑග් තඩියක්ද නිකට පුරා ඇලවුණු ලොකු  ප්ලාස්ටරයක්ද සමගය.

ඒ වනවිටත් සරසවි වටලා  සිසුන් අත් අඩංගුවට ගත් පුවත රටපුරා පැතිරී තිබුනේය. ඒ නිසා  අපේ  ගෙදර සියල්ලෝ සිටියේ පාරට ගොඩ වී ඈත මග දිහා  බලාගෙනය .

මගේ මුහුණේ  වූ තුවාලය දැක බියපත් වූවද මා ගෙදර ආවාට  සොම්නස් වූ  අම්මා වැඩි විස්තර  විචාරන්නට හදිස්සි නොවුවය

එත් මම දවල් වන විට පෙර දින මුහුණදුන්   ත්‍රාසජනක සිදුවීම් එකින් එක අම්මාටකියා  අවසන් කර තිබුනේය .
මගේ නිකටේ තුවාලය ගැන අම්මා ඇසුවේ මේ වේලාවේය .

මක්වෙලාද පුතා ඔය . ලොකු තුවාලයක්ද? දැන් හොඳටම හොඳද?

ඒක මේ පොඩි තුවාලයක් අම්මා . මැහුම් දැම්මා දැන් හරි .

' ඉතින් මක් වෙලාද ඒක උනේ? '

යාලුවොත් එක්ක සෙල්ලමට වතුර ගහගත්ත  වෙලාවේ  අක්බාර් කොරිඩෝරේ ලිස්සලා වැටුනානේ.

මම කිව්වේ ඇත්තම කතාවය .


( වසර 28ක් පැරණි මේ  කතාවේ මට අමතක වූ කොටස් බොහෝ තිබෙන අතර මෙය කියවන , එදා මා සමග සිටි මිතුරන් ඒවා මතක් කර දෙනු ඇතියි සිතමි )


Sunday, May 21, 2017

මාලදිවයිනේදී නැතිවූ පාස්පෝර්ට් එක



හීන පෙනීම සම්බන්ධ විද්‍යාත්මක මතවාද  මෙන්ම හීනවලින් කියවෙන  අනාවැකි  ගැන අනන්තවත් දේ ලියවී තිබේ. ඒත් මමනම් ඔය කිසි දෙයක් සිරාවට ගණන් ගන්නේ නැත . අපේ  සිල්වා සර්ගේ පන්ති යන දවසවල ඉංගීසි ඉගෙන ගැනීමේ මංපෙත් පිළිබඳ මට උපදෙස් දුන් වැඩිහිටි මිතුරෙක් මෙහෙම කිව්වේය .

' මල්ලි නින්දට යන්න කලින් කල්පනා කරන දේවල් ඉංග්‍රීසියට හරවලා හිතන්න. එතකොට ඉංග්‍රීසියෙන් හීන පෙනෙයි '

ඒත් මේ වනතුරු මානම් ඉංග්‍රීසි හීනයක් දැක්කේ නැත . අනන්තවත් හීන දැක තිබුනාට ඒවා අතරින් මතක හිටින කීපයක් ලියා තබන්නට හිතුනේ විනෝදයටත් එක්කය. මේ හැම හීනයකටම පසුබිම් අතීත කතාවක් තිබුණු අතර ඒවා මට යලි  සිහියට නැගුනේ මේ පසුකාලීනව දුටු සිහිනත් සමගයි ..

 ප්‍රභාකරන්ට බැන වැදීම 

යුද්ධය උපරිමයෙන් තිබු කාලයේ ප්‍රභාකරන් මෙල්ල කරන්නේ කොහොමද කියා  කවුරු කවුරුත් හිතුව අවධියක  මට හීනෙන් ප්‍රභාකරන් හමුවුනේය . ඒ අපේ ග්වල් ළඟ ඉස්කෝලේ කන්දට ඈතින් පේන කුඹුරේ  ඉද්දීය.  ඒ හීනය දුටු දවස්වල මාවිල්ආරු ඇනිකට් එක වසා තිබුණාදැයි මට මතක නැත . ඉස්කෝලේ කන්දට අප ඒ කාලයේ වැඩිපුරම නගින්නේ ඈත පේන අපේ කුඹුරට පණිවිඩයක් කීමටය. කුඹුරේ ඉන්නා තාත්තාට සමහර විට මෙවැනි පණිවිඩයක් කෑ ගා කියමු.

තාත්තා ආඅ  ආ . ගෙදර  එනවද? බත් ගෙන්න ..ද ....

ඒ පැත්තෙන් මෙහෙම ඇහෙයි

.කෑම ගේන්ඩෝ... දැම්ම එන්න වෙන්නේ නැතෝ  .. .

තවත් බොහෝ වෙලාවට මේ කන්දට නැග්ගේ අපේ කුඹුරට හරවා ඇති වතුර පාර වෙනත් කවුරුන් හෝ තමන්ගේ කුඹුරට හරවාගෙන ඇත්දැයි බැලීමටය.
කාගේ හෝ කුඹුරකට ඇලෙන් වතුර හරවා තිබියදී  ලියදි දිගේ වතුර පිරි පිරී ගොස් පාවුලේ  ඔය ඉවුරේ ඇති ලියදිවලින් වතුර උතුරන විට කුඹුරට වතුර වැදුනා කියා තෘප්තියෙන් කියන්නට පුළුවන. ඒත් ඊට කලින්  කවුරුන් හෝ වතුර පාර වෙනත් වක්කඩයකින් තමන්ගේ කුඹුරට හරවා ගැනීම අපරාධයක් හෝ කුපිත කරවීමක් විය. කන්දට ගොස් මේ අලුගුත්තේරු වැඩේ කළ කුඹුරු හිමියාට බැන වැදීම හිත හදා ගැනීමට ඇති පළමු  මගයි.

මේ වාගේ දවසක් මා කන්දට ගොස් ඈතින් පේන අපේ කුඹුරේ හෙල්මළු ලියදි දිගේ වතුර පිරි පිරී ඉතිරෙන අයුරු සොම්නසින් බලා සිටිද්දී  දැකලා පුරුදු කෙනෙක් අපේ ඇළ දිගේ කුඹුර පැත්තට එනවා දුටුවෙමි. ඒ කැමා සුට් එකක් ඇඳගෙන උදැල්ලක් කරින් ගත් ප්‍රභාකරන්ය. කිලෝමීටරයකට ඈතින් හිටියත් මට ඔහු හොඳින් හඳුනා ගන්නට පුළුවන් විය .
මගේ හිතේ හිරි ඇරෙනතුරු ප්‍රභාකරන්ට බණ වැදුනේ එදාය. අපේ අයියාද මා සමග එකතු වෙමින් ඔහුට බැන්නේය. මොකුත් නොකියාම වරදකාරී මුහුණ මදක්  පෙන්වා ප්‍රභාකරන් කුඹුරට උඩින් වූ තිත්ත මල් ලන්දේ හැන්ගුනේය.


මිනීමරුවා බයිසිකලෙන් ගෙන යෑම

දුරාතීතයේ දවසක් මම  මොරටුවේ සිට කොටුවට එද්දී දෙහිවලට  කලින් තිබූ  හෝල්ට් එකකින් පොලිස් කාන්තාවන් දෙදෙනෙක් බසයට ගොඩ වුනේ සිය  අත්වලින්  අල්ලා ගත් තලත්තැනි හයිරන්කාරෙක් සමගය . පොලිස් කාන්තාවක් අතේ සිලි සිලි බෑගයක් තිබු අතර එය මේ මදාවියා ඇත තිබු ගංජා පාර්සලය බව පසුව දැන ගත්තෙමි . පුංචි දඟකාරයෙක් අල්ලාගත් ඉස්කෝලේ හාමිනේලා දෙනෙක් මෙන් ජයග්‍රාහී මුහුණින් යුතුව මේ  පුද්ගලයාව මැදිකරගත් පොලිස් කාන්තාවන් දෙදෙනා බසයේ හිටගෙන සිටියෝය . දෙහිවල හන්දියේදී බසය ස්ලෝ වෙද්දී මදාවි දඟයා පොලිස් නෝනලාගේ අත් ගසා දමා අර ගංජා පාර්සලයද උදුරාගෙන බසයෙන් බිමට පැන ගත්තේය. අපබලා සිටිද්දීම ඔහු දෙහිවල උඩ පාර දිගේ දුවගෙන ගියේ පස්ස හැරී හැරී බල බලා ඔලොක්කු හිනාවක් දාගෙනය .

මේ පොලිස් කාන්තාවන් දෙදෙනාම මම මෑත කාලයේ දවසක් දැක්කේ මිනී මරුවෙක් අල්ලාගෙන යමින් සිටියදීය. කොටු සරමක් හා  අත් දිග කමිසයක් ඇඳ සිටි හීන් දෑරී මිණීමරුවා අතින් මැරුම් කා තිබුනේ  ඔහුගේ උසට මහතාට බොහෝ සයින් සමාන වෙනත් මිනිසෙකි. අර පොලිස් කාන්තාවන් දෙදෙනා  මේ මිනීමරුවාද  මැරුණු මිනිහාද දෙදෙනාම බයිසිකලයක නංවාගෙන තල්ලු කරගෙන යමින් සිටියෝය. වරෙක බයිසිකලය  ඇලවීම නිසා මළ මිනිසා  බිමට පෙරලුනේය. තවත් වරෙක මිනීමරුවාගේ දැඟලිල්ල නිසා බයිසිකලය පෙරලුනේය. මේ කොයි හැටි උනත් මිනිය හා මිනීමරුවා යන දෙකම අම්බන්කරගනිමින් පොලිස් නෝනලා දෙන්නා බයිසිකලය දක්කාගෙන  ඉදිරියටම යද්දී මට ඇහැරුනේය .

 මාලදිවයිනේදී නැතිවූ පාස්පෝර්ට් එක පේරාදෙණියෙන් හමු වීම 

දවසක් දෝහා සිට කොළඹ එද්දී මට මාලදිවයින හරහා එන්නට සිදු වුයේ , මගේ ෆ්ලයිට් එක ඕවර් බුක් වීම නිසාය. මේ ළඟදී යුනයිටඩ් එයාර්ලයින් එකේදී වුවා මෙන් ගුවන් යානය තුලදී නොව ගුවන් තොටුපලේ කවුන්ටරයේදීම  මට දැනුම් දුන්නේ යානයේ  මගීන් පිරී ඇති නිසා හවස ගුවන් යානයේ යන්න කැමතිනම් රියාල් දහසක වන්දි මුදලක් දෙන බවයි. ඒත් ගෙදර යන්නට තිබු හදිස්සිය නසා මට කොහොම හරි දැන්ම යන්නට ඕනෑ යැයි ගොරානාඩු කලෙමි . ඒ නිසා මට මාල දිවයින හරහා ලංකාවට එන පිළිවෙලක් සැකසිණි.

බස් හෝල්ට් එකක් වැනි කුඩා මාලේ  ගුවන් තොටුපල පර්යන්තයේ සිට ගුවන් යානයට ඇවිදගෙන එන්නට තිබෙන ගමනට මා කැමති නිසා ඒ යෝජනාව  පිලි ගතිමි .

මාල දිවයිනේදී මගේ පාස්පෝට් එක ඉල්ලා ගත් නිලධාරියෙක් යමක් පැහැදිලි කරගන්නට එය ඇතුළත කාමරයකට අරන් ගියේය. ඔහු බොහෝ වෙලාවක් යනතුරු යලි නොපැමිණි අතර මම බෙහෙවින් කලබලයට පත් වීමි .

මේ බයවීම මට පසුගියදාක යලි අත්විඳින්නට සිදු වුනේ අර එදා මගේ පාස්පෝර්ට් එක ඇතුලට අරන් ගිය නිලධාරියා නිසාමය . ඔහු කොහේදෝ රටක ගුවන් තොටුපලකදී මගේ පාස්පෝර්ට් එකේ සීල් එකක් ගසන්නට තිබෙනවා කියා රැගෙන ගියේය. ඉන්පසු ඔහු එය අතුරුදහන් කළේය. ඒ අසල සිටි කීප දෙනක් සමග මගේ අවනඩුව කීවද කවුරුත් මාව ගණන් ගත්තෙම නැත . බැරිම තැන මම පටු කොරිඩොරයක් දිගේ ඇවිදගෙන ගියේ මේ ගැන සොයා බැලීමටය. එතනින් එලියට පිවිසෙද්දී මා දොටුවේ පේරාදෙනි සරසවි පුස්තකාලය පැත්තෙන්  ආර්ට්ස් ෆැකල්ටිය දෙසට එනවිට මේසයක් තබාගෙන සිටින සේකුරිටි මිතුරාය. මම වහා ඔහු ළඟ වාඩි වී මගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කලෙමි. ඔහු ඉන්න බලන්න කියා ලාච්චුව ඇද මට පාස්පෝර්ට් එක සොයා දුන්නේය.
මම මහත් සැනසීමෙන් එතනින් නැගිට ගෙම්බා කැන්ටිම දෙසට ඇවිදගෙන ගියෙමි .

මේ හීනවල යටි අරුතක් හෝ අනාගත වාක්‍ය හෝ දේශපාලන උපහාසයක් නැත . ඒවා හීන පමණය .

මම පහුගිය අවුරුදු හතරේ දුටු හීනවල ඉන් පෙර දුටු හීනවලට වඩා විශේෂයක් තිබ්බේය.  ඒ කවදාවත් හමු වී නොතිබූ බ්ලොග්කාරයින්වද, මගේ පොස්ට්වලට යටින් හරබර දේ ලියන කොමෙන්ට්කරුවන්වද, බ්ලොග් කියවන හිතාදරයන්ද  වරින්වර හීනවලදී  හමුවීමය .  කොටින්ම මේ සියලු දෙනාද දැන් මගේ ජීවිතයේ කොටසක් වී හමාරය .
අද මගේ බ්ලොග් අඩවියට සිව් වසරක් පිරෙයි .

Image : seppo.net

Saturday, April 29, 2017

ඇස්බැන්දුම් කාරයෝ -1



"දන්නවද මේ ලෝකේ හැමෝටම ඇස්බැන්දුම් බෑ. හැබැයි අපි උත්සහ ගත්තොත් ඇස්බැන්දුමක් නැතුව වුනත් මිනිස්සු පුදුම කරන්න පුළුවන් ...!

මේ කෑල්ල මා උපුටා ගත්තේ ළඟදී පළවූ ' කෙහෙල්කොටුවේ චුටි මහතත්යා විසින් රචිත  ' ඇස්බැන්දුම' කතා පොතෙනි . එය බුද්ධි ප්‍රසාද්ගේ සයිබර් යායේ පළවූ රසවත් ළමා කතාවක මුද්‍රිත පළ කිරීම නොහොත් අලුත්ම සිංහල බ්ලුක් එකයි.

 මට මේ මුල්වැකියෙන්ම පොත හිතට අල්ලලා ගියේය . ඇත්තම කියනවානම් මා උත්සහ කරමින් සිටින්නේද ඇස්න්දුබැමකින් තොරවම මිනිස්සු පුදුම කරන්නටය . මිනිස්සු සතුටු කරන්නටය. ඒ ලෙඩේ අපේ ඔවිනිට්ද තිබේ .

.

ඉස්සර ඔවිනිට ඕනෑ කලේ  ගෙවිලියක් වෙන්නටයි . අගේ පොත් කවරයක Fm. ඔවිනි කියා ලියා තිබෙනවා දැක ඒ මක්කදැයි අසු විට ඇය කීවේ එය Farmer කියන එකේ කෙටි යෙදුම බවය .හරියට ඩොක්ටර්ලා නමේ මුලට Dr. කියා දමනවා වගේ ඇය තමන්ගේ වෘත්තීය නාමය නමේ මුලට යොදාගෙන තිබුනේ ඒ විදිහටය .  මේ ආකාරයෙන් සිය අනාගත රස්සා වරින් වර මාරු කළ ඇය සමහර විට මේ ලෝකේ වැඩිම අනාගත රස්සා ගානකට සිහින දැක්ක ළමයා විය හැකිය.

මා මැදපෙරදිග රස්සාව කරන කාලයේ ඇය පහේ ශිෂ්‍යත්ව පන්තියේදී අපුරු රචනාවක් ලියා තිබුණාය . කතාවේ මාතෘකාව ' මට හත්පෙති මලක් ලැබුනොත් ' කියාය . ඇය ලියා තිබුනේ මලක් ලැබුනොත් මල වේලා ඇට ලබාගෙන ඒවායෙන් මල් පැල මහා ගොඩක් හදා ගන්නා හැටිත්  ඒවා රටේම ළමයින්ට  බෙදන හැටිත්ය . ඇගේ එකම පුද්ගලික ඉල්ලීමක් ලෙස හත්පෙති මලෙන් ඉල්ලන්ට බලාපොරොත්තු වී තිබුනේ 'රට රසාවට ගොස් සිටින තාත්තා ඉක්මනින් ගෙදර ගෙන්වා ගැනීමය' මේ රචනාවට දොළහෙන් දොළහම දුන්නු පන්තියේ ටීචර් ගෙදරට පණිවිඩයක් යවා අම්මා ගෙන්නාගෙන මේ පොත පෙන්වා තිබුනේය. ඊළඟ වතාවේ ගෙදර ආ විගස ටීචර් මා ගෙන්වාගෙන දරු පවුලත් සමග ලංකාවේම නතර වී සිටින්නැයි තරයේ අවවාද  කලාය.

ඒත් රස්සාවෙන් අස් වෙලා මා ලංකාවට එන්න හදන ආරංචිය ඇසුණු ඔවිනි කීවේ  ඉක්මන් වෙන්ට එපා තාත්තේ මම දැන් හරිම ආසයි තාත්තත් එක්ක එකම ප්‍රොජෙක්ට් එකක රස්සාව කරන්න . ඒ කියන්නේ තාත්තා දැන් වැඩ කරන එකේ, ඒ නිසා මාත්  එනකන් ඉන්න .

පසුගිය අවුරුද්දේ  ඔවිනී කොරියන් චිත්‍රපටි හා සංගීත වැඩ සටහන් වලට මොනතරම් ඇබ්බැහි වී සිටියාද යත් ඇයට ඉස්කෝලේ වැඩ , ගෙදර වැඩ විතරක් නොව කන, බොන දේද අමතක වී තිබුනේය. මේ ගැන මා තරවටු කරමින් කිව්වේ වැඩිපුර කොරියන් ප්‍රෝග්‍රෑම් බලන අයට ' කොරියන් එන්කෙපලයිටිස්' නම් රෝගයක් වැළඳෙන බවයි .

කොහොම කොහොම හෝ අපේ කන්කරච්චලයෙන් බේරෙන්න බැරි තැන කොරියන් චිත්‍රපට බැලීම නතර කළ  ඇය කඳුළු පෙරමින් සිය තීරණය දැනුම් දුන්නේ මෙසේ අනතුරු අඟවමිනි .

' හොඳයි මං කොරියන් ඒවා බලන එක නවත්තන්නම් හැබැයි මං කවද හරි දවසක කොරියන් බලන්න කැමති මහත්තයෙක් කසාද බැඳලා ළමයි දොළහක්  අරන් හදා ගන්නවා . අපි දාහතර දෙනාම සාලේ වාඩි වෙලා කොරියන් ෆිල්ම් බලනවා '

මේ මොනවා කීවත් ඔවිනි ඇස්බැන්දුම් නොකරම  අපිව පුදුමයට පත් කරවන බව මට විශ්වාසය .

මේ ඉහලින් තිබෙන චිත්‍රය  ඇන්දේ ඇස්බැන්දුම පොතේ කතුවරයා හෙවත් කෙහෙල් කොටුවේ චුටි මහත්තයා විසිනි .  ඒ ඔවිනිට උපන් දින තෑග්ගක් විදිහටය  .  පසුගියදාක ඔවිනිද  කරාටේ කළුපටි ධාරිනියක් වීමට සුදුසුකම්  ලැබූවාය. ඔවිනි විසින්ක කල්තියාම පවුලේ සමුහ චායාරුපයක්ද ඇඳ තිබුණාය . මේ එයයි .






Wednesday, April 19, 2017

රාහුල පුත්‍රයා


ගේ පැරණි මිතුරෙක් සිය දරු පැටවුන් සමග කලකට පසු මට  හමු වුයේ  බණ ගෙදරකදීය. මේ ගෙදර කතාබස් දොඩමලු වීම් අතරේ විදුලි ආලෝකය යහමින් තියෙන තැනකට විත් මගේ මිතුරාගේ පුත්‍රයා ලොකු පොතක් කියවමින් සිටියේය .

'අපේ පුතා කාලේ නාස්ති කර ගන්නේ නෑ . ඉඩක් ලැබෙන හැම වෙලාවේම පොතක් කියවනවා ' සි  පුත්‍රයා දෙස ආඩම්බරයෙන් බලමින් මිතුරා මට කිව්වේය.

'ඒක හරි හොඳ පුරුද්දක්' . මා කීවේ මුනිච්චාවටය

එක්ෂණයකින් මට මහත් කේන්තියක් ඇති වුනේය.  මහා ලොකුවට අපේ සංස්කෘතිය ගැන ආගම ගැන කතා කරනවා , ලියනවා. ඒ වුනාට තමන්ගේ දරුවට රටේ   මිනිස්සු කතාබහ කරන දේවල්වත් අහගෙන ඉන්න දෙන්නේ නෑ.

ඔහුගේ පුතාට බණ ගෙදරක වෙන දේවල්, මේ යන එන මිනිසුන් , ඔවුන් කතා කරන දේ, වතාවත් සිදුවන පිළිවෙල, හාමුදුරුවන්ගේ දේශනාවේ සාරාංශයක්  එහෙම  උකහා ගන්න  ඉඩ දෙන්න බැරි ඇයි?. මේ සිදුවෙන දේ  අතරේ  පොත් දෙක තුනකින්  ගන්නට බැරි දැනුමක් එන්නේ නැතිද? අනෙක් අතට ඔය අතේ තියෙන පොත ආපහු ගිහින් ගෙදරදී වුනත් කියවන්න පුළුවන්නේ . ඒ වගේද මේ සජීවී මිනිස් එකමුතුව?
 මේ ආදී දහසක් ප්‍රශ්න මගේ හිතේ සරද්දී අනෙක් අතට මට හිතුනේ ඒ දරුවාට අනුන්ගේ කටවල් දිහා බලා ඉන්නට  එපැයි කියන හොඳ අවවාදය තදින් ලැබී තිබෙන්නට ඇති බවය.

බණට හාමුදුරුවෝ වඩිනතුරු  තැන තැන එක්රැස් වී අමුත්තන් විසින්  කරන කතා බහට ඇහුම් කන් දුන්නෙමි .  වැඩි දෙනෙක් කතා කලේ රට පාලනයේ අඩුපාඩු, ක්‍රිකට් ටීම් එකේ දුර්වලකම් , නිළියන්ගේ පෙම්හබ , හා  ඒවා හරියට කරනවානම් කරන්ඩ තිබ්බේ මෙහෙමයි යනාදී කතායි. හාමුදුරුවන්ගේ  බණ දෙසුමද මෙලෝ රහක් හෝ ගුණයක් තිබ්බේ නැත . කාලීන දේශපාලන ඕපදූප , පවුල් ජීවිතවල අවුල් , ජාතිවාදී කතා හා විශ්වාස කිරීමට අපහසු මිත්‍යා කතා අතර පටලවුණු නිසා එය අසා සිටීමට අපහසු ඉදිරිපත් කිරීමක්  විය .

අන්තිමේ මට හිතුනේ මිතුරාගේ පුතා හිටි ස්ථාවරය නිවැරදි බවයි.

******************
පහුගිය කාලයේ රටේ ආන්දෝලනයට ලක් වූ සයිටම් විරෝධය, මහා බැංකු වංචාව හා කුණු කන්ද නාය යාම වැනි ප්‍රශ්න සියල්ල  දැක දැක බකන්නිලාගෙන  සිටීම නොහොබිනා කමක්යැයි සිතුනු නිසා රටේ කාලීන ප්‍රශ්න ගැන කතාබහ කරන විද්වත් හමුවකට සහබාගී වුනෙමි .

ඒ හමුවෙන් පසු සාදයක්ද තිබුණු අතර යහමින් සප්ප්පයම් වී  මැදියම් රැයේ මා ගෙදර ගොඩ වන විට අර  මිතුරාගේ පුත්‍රයා අපේ සාලයේ ලයිට් සියල්ල දමාගෙන පොතක් කියවමින් සිටියේය .

මට ඔහු හමු වුයේ අවුරුදු දෙක තුනකට පසුවය.

එදා බණ ගෙදරදී ආවාට වඩා කේන්තියක් මට ඇති වුනේය . මේ පාරනම් මට කට පියාගෙන ඉන්න බැරි විය .

' දැන් බලනවා ළමයෝ මේ රටේ වෙන්නේ මොකක්ද කියල ඔහෙලා දන්නේ නෑ ,  දේශපාලකයෝ හොරකම් කරනවා, හැම තැනම කුණු කඳු , මිනිස්සු යට වෙලා මැරෙනවා, ආර්ථිකේ කොට උඩ, කැම්පස් ළමයි මොකාක් හරි එහෙකට ඉස්ට්‍රයික් . ඒ අස්සේ ඔහෙලා මේ පොතක් හරි ටැබ් එකක් හරි බදාගෙන මේ ලෝකේ මිනිස්සු නෙවෙයි වගේ තමුන්ගේ වැඩක් බලාගෙන  . ඔහෙලා මෙහෙමද  ඉස්සරහට  මේ රට බාර ගන්න ඉන්නේ? '

එවර මගේ ගොරානාඩුව ඉලක්කයට වැදුනේය. පොඩි එකා වරදකාරී බැල්මක් මා වෙත හෙලමින් පොත වසා එකත්පස්ව හිට ගත්තේය .

'අන්කල් ගේ කේන්තිය සාධාරණයි ' ඔහු කිව්වේය .

'මේකනේ අන්කල්  දැන් අපට කරන්න  ඉතීරිවෙලා තියෙන්නේ එක දෙයයි . විප්ලවකාරී පක්ෂයක් හදා ගන්න එක . ඊට පස්සේ මේ ක්‍රමය පෙරලලාම් දාන එක '

'හෝව් හෝව් . ඒ වගේ දේවල් හිතන්න ඕනි නෑ පුතා . ඒ මොන මෝඩ වැඩක්ද ? එහෙම  කරන්න ගිහින් දෙපාරක්ම වැරද්ද ගත්තනේ . විප්ලව කරන්න හදිස්සි වෙන්න එපා '

''එහෙනම් අන්කල්ම කියන්න . ඔය රටේ වෙන හැම දේකටම උනුත් එකයි මුනුත් එකයි  , ගිය එවුමුත් හොරු  දැන් ඉන්න  එවුමුත් හොරු  ගගා ඉන්න එක  විතරද කරන්න තියෙන්නේ? . ඉතින් හිටපු උන් පත් කරෙත් අංකල්ලා , දැන් ඉන්න උන් පත් කරෙහ් අන්කල්ලා. මේ ප්‍රශ්න අංකල්ලා පොඩි කාලෙත් තිබ්බා . ඒවා  බලා ඉන්න බැරි තරම් අසාධාරණයි  කියල අංකල්ලා විප්ලව කරා. විප්ලව පක්ෂ පිස්සු කෙලිනන පටන් ගන්නකොට උන්ටත් අන්කල්ලා බනින්න පටන් ගත්තා. අදටත් ඒවාට ඔච්චම් කරන එක විතරනේ කරන්නේ   ''.

කොල්ලාගේ කටේ සැර වැඩි වේගෙන එද්දී මූ ටිකක් ඕනිවට වැඩි යයි මට සිතිනි. කොලුවා දිගටම කියවාගෙන ගියේය  .

'"මේ කිසි දෙයක් හරි යන්නෑ අන්කල් හරියට ජාතික ප්‍රතිපත්තියක් හදාගන්නේ නැතිව . ඔය දේශපාලකයෝ ආණ්ඩු මට්ටු කරන්න පුළුවන්නේ හැම දෙයක් ගැනම  හරි කෙලින් ප්‍රතිපත්තියක් සිස්ටම් එකක් හැදුවොත් විතරයි .  ක්‍රමේට උඩින් වැඩ කරන්න දේශපාලකයින්ට  බලය දීලා උන්ට ඕනිම  ජඩ වැඩක් කර ගන්න පුළුවන් විදිහේ ලේකම් වැඩයි , ලියකියවිලි වැඩ ඔක්කොම කරලා දෙන මහා ලොකු උගත්තු අංකල්ලා . මේ සේරම බලන්න ගියොත් අපිට වෙන්නේ මහා මුහුදට පනින්න. නැත්නම්  විප්ලව කරන්න "   කොල්ලා වෙවෙලමින් කිව්වේය .

'අපි දන්නවා අංකල් ඔය මොන  කෙහෙම්මලක්වත් හරි යන්නේ නා, ඔයාලගේ පරම්පරාව මේ සීන් එකෙන් අයින් වෙනකම්. එතකන්  මේ රට හදන්න බෑ  . ඒ වෙනකන්  අපිටත් තියෙන්නේ පොතක් බලාගෙන කොම්පියුටර් ගේමක් ගහගෙන ඉන්න .

කොලුවාගේ කනෙන් ඇදගෙන ගොස් මගේ පුස්තකාල කාමරේ අගුළු දැමූ මම , අපේ වැලි සැපයුම්කරුවකු සිංහල අවුරුද්දට දුන් හැම්පරයක් පීරා බොන්නට සැර  යමක් ඇද්දැයි සෙවීමි.

Image : dreamstime.com